මාන්කුලමේ බිහිසුණු අනතුරක්

මාන්කුලමේ බිහිසුණු අනතුරක්

June 26, 2024   07:02 am

මාන්කුලම් පොලිස් වසමේ මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ආපදාවකට ලක්ව ඇති අවස්ථාවක රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස එය අලුත්වැඩියා සිදුකරමින් සිටිය දී එම දිසාවෙන් ම පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ආපදාවට පත් බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

එම අවස්ථාවේ දී බස් රථයේ රියදුරු සහ මගීන් කිහිපදෙනෙක් අනතුරට ලක්ව තිබේ.

බස් රථයේ රියදුරු හා මගීන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලැබීමත් සමග ඊයේ (25) රාත්‍රීයේ ම  මානකුලම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේ දී තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ලොරි රථයේ රියදුරු හා මගියෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් අවුරුදු 39ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ බස් රථයේ රියදුරු හා අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි තවත් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීර මේ වනවිට මාන්කුලම් රෝහලේ තැන්පත් කර තිබේ.