රොෂාන්ට අධිකරණයෙන් කල්දෙයි

රොෂාන්ට අධිකරණයෙන් කල්දෙයි

November 30, 2023   01:00 pm

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට  කල් ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ එම පෙත්සම අද (30) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතාට නියෝග කර ඇත.

ඒ අනුව පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියම කර තිබේ.

ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව පවසමින් අදාළ නීතීඥවරිය සිය පෙත්සම ගොනුකර තිබුණි.