පැරිස් එකඟතා ගිවිසුම් ගැන රාජ්‍ය ඇමති හෙළිකරයි

පැරිස් එකඟතා ගිවිසුම් ගැන රාජ්‍ය ඇමති හෙළිකරයි

June 27, 2024   06:05 pm

ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදියර තුනෙන් අදියර 2ක් මේ වනවිට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉතිරිව ඇති අනෙක් අදියර වන පෞද්ගලික බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් ණය ගෙවන කාලය ආසන්න වශයෙන් 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුවන බවත්ය. 

"නැවත ආර්ථිකය යථාවත් කිරීමේදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ වෙනුවෙන් රටේ ජනතාව විශාල කැපකිරීම් රාශියක් කළා. ජනාධිපතිතුමා දීපු නායකත්වය මේ රටේ ආර්ථිකය ගැන සම්බන්ධයෙන් නැවත බලාපොරොත්තුවත් ඇති කර ගැනීමට හැකි වුණා. මෙතන වැදගත් වෙන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීම. කොටස් 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දේශීය ණය ප්‍රශස්ථ කිරීමේ වැඩසටහන අපි අවසන් කළා. දෙවන අදියර විදියට ද්වීපාර්ශවික ණය හිමියන් සමග ප්‍රතිව්‍යූහගත කිරීම දැන් අවසන් කරලා තියෙන්නේ. ඊළඟට අපිට පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු ඉදිරියේ දී සිදුකරනවා. වැදගත් වෙන්නේ මේ ලබාගත්ත ප්‍රතිව්‍යූහගතකරණය තුළින් රටට ලැබෙන ප්‍රතිලාභය. ණය ප්‍රතිව්‍යූහගතකරණය විවිධ ක්‍රමවේද ඔස්සේ කරන්න පුළුවන්. නමුත් ලෝකයේ සම්මත ක්‍රමවේද ඔස්සේ තමයි ඉදිරියට ගමන් කරන්න වෙන්නේ. නමුත් මේ ප්‍රතිව්‍යූහගතකරණයට ද්විපාර්ශවික ණයහිමියන් එකඟතාවය පළකරන්නේ ආර්ථීක ස්ථාවර වෙලා වර්ධනය වෙලා ඉදිරියට යන ගමන් මඟ තුළ ඇති කරගන්න විශ්වාසය තුළ. අපි කැපවීමෙන් මේ විශ්වාසය ගොඩනැගුවේ නැතිනම් අපි අනාගතවාදී ආර්ථික දර්ශනයක් එක්ක ගමන් කරන්න කටයුතු කළේ නැතිනම් අපේ ණයහිමියන් ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වෙන්නේ නෑ. අපි ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් බලාපොරොත්තු වන්නේ ණය ගෙවන කාලය දීර්ඝ කරගන්න. ආසන්න වශයෙන් 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුකරනවා. ඒ වගේම පොලි අනුපාතයන්වල අඩුවීමක් සිදුවෙනවා. මේ ගැන අනවබෝධයෙන් ප්‍රකාශ සිදුකරන අය බොහෝ වෙලාවට කියන්න උත්සාහ කරනවා අපි මේ ණය කපාහැරීමකට එකඟතාවක් ඇතිවෙලා නෑ කියලා. ඒ ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන තියෙන අනවබෝධය. මෙය රටක් හැටියට ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවන්න අරගත්තු ඉතාම වැදගත් තීන්දුවක්."