කෝලි සහ ෂර්මා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට සමුදෙති

කෝලි සහ ෂර්මා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට සමුදෙති

June 30, 2024   08:25 am

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ප්‍රකාශ කළේ තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවය.

විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේ 2010 වසරේද ජුනි 12 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

කෝලි 20යි 20 ජාත්‍යන්තර තරග 125කට මුහුණ දී ඇති අතර එම තරගවලදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 4,188කි.

එක් ශතකයක් සහ අර්ධ ශතක 38ක් ඊට ඇතුළත් ය. 

35 හැවිරිදි කෝලි විසින් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස්කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වෙන්නේ 122කි.

ඊයේ පැවති ලෝක කුසලාන 20යි 20 අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටද විරාත් කෝලි සමත්විය.

ඊයේ අවසන්වූ  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ මුල් තරගවලදී කෝලී අසාර්ථක වුවද අවසන් තරගයේදී ලකුණු 76ක් රැස් කරමින් අවශ්‍යම මොහොතේ සිය පිත්ත ක්‍රියාත්මක කළේ ඉන්දීය ඉනිම ඔසවා තබමිනි.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඊයේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළේය.

37 හැවිරිදි රෝහිත් ෂර්මා 20යි 20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේ 2007 වසරේ සැප්තැම්බර් 19 වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

එතැන් සිටි මේ දක්වා ෂර්මා මුහුණ දුන් 20යි 20 ජාත්‍යන්තර තරග 159ට රැස්කළ ඇති මුළු ලකුණු ප්‍රමාණය 4,231කි.

ෂර්මා විසින් ශතක 05ක් රැස්කළ ඇති අතර අර්ධ ශතක 32ක් රැසක් කර තිබේ.

20යි 20 ජාත්‍යන්තර තරගයකදී ෂර්මා විසින් වාර්තා කර ඇති හොඳම ලකුණු ප්‍රමාණය වන්නේ 121කි.