පළමු ජය කැන්ඩි කණ්ඩායමට

පළමු ජය කැන්ඩි කණ්ඩායමට

July 1, 2024   10:59 pm

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයටපත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් රැස්කළේය.

දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් මාක් චැප්මන් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62ක් රැස්කළේය.

පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 03ක් දවාගත්තේය.

ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තාකළේය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 65ක් රැස්කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 46ක් රැස්කළේය.