රේගු නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

රේගු නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

July 4, 2024   07:26 am

සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.

අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සං‍ශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ විධායක කමිටු සාමාජික තාරක කුමාරසිංහ මහතා පැවසුවේය.

අවස්ථා කිහිපයකදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කළ ද ඒ සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් පසුගිය දින දෙක තුළ රේගු නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටියේය.

සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව තාරක කුමාරසිංහ මහතා පැවසුවේය.

කෙසේවෙතත් මේ මොහොතේ වර්ජනවල නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.