පියුමි හංසමාලිට නැවත එන්න වෙයි

පියුමි හංසමාලිට නැවත එන්න වෙයි

July 1, 2024   09:39 pm

අද (01) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදුකර නොමැත.

ඒ අනුව එම කොට්ඨාසය ඇයට දැනුම්දී ඇත්තේ ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන බවය.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුවය.

ඊට අදාළව ජුනි 18 වනදා කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් කියා සිටියේ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 780ක් වැය කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජීප් රථය මිලදී ගෙන ඇති අතර තවත් රුපියල් මිලියන 148ක මුදලක් වැය කර කොළඹ 7, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව පියුමි හංසමාලි මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අංක 04 මහ‍ෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදුනි.

මෙවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එම කොට්ඨාසය පියුමි හංසමාලිට දැනුම් දී තිබු අතර ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ ඇය එහි පැමිණ තිබුණි.

ඒ අනුව අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ආපසු පිටවයෑමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඉඟි කර සිටියේ තම ව්‍යාපාරය වන රූපලාවණ්‍ය ආලේපන අලෙවියෙන් රුපියල් කෝටි 87 කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවය.