නිවැසියන්ට දස වධ දී නිවස කොල්ලකෑ කල්ලිය

නිවැසියන්ට දස වධ දී නිවස කොල්ලකෑ කල්ලිය

June 27, 2024   06:44 pm

ඇහැළියගොඩ නැදුරන, ඇරෑපොල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරුන් පිරිසක් එම නිවසේ පදිංචිව සිටි වැඩිහිටි යුවළකට තියුණු ආයුධවලින් පහරදී අතපය ගැටගසා එම නිවස කොල්ලකා තිබේ.

එහිදී 76 හැවිරිදි කාන්තාව මියගොස් ඇති අතර 76 හැවිරිදි එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

පොලීසිය පැවසුවේ පෙරේදා (25) රාත්‍රී 11ත් ඊයේ (26) සවස 4.30ත අතර කාලයේ දී මෙම කොල්ලය සිදුකර ඇති බවයි.

මෙම යුවළගේ වැඩිමහල් දියණිය විවාහ වී කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අනෙක් පිරිමි දරුවන් දෙදෙනා විවාහ වී අමෙරිකාවේ පදිංචිව සිටින බව වාර්තා වේ. 

පුතුන් දෙදෙනා දෛනිකව දුරකථන ඇමතුම් ලබාදි මව්පියන්ගේ සුවදුක් විමසන අතර ඊයේ සවස ද දෙමාපියන්ට ඇමතුමක් ලබා දී ඇත.

සිය ඇමතුම් සඳහා දෙමාපියන් ප්‍රතිචාර නොදැක් වූ බැවින් ඔවුන් ඥාතියෙකු ඇමතුමක් දී පවසා ඇත්තේ සිය දෙමාපියන් සුවෙන් සිටින්නේ ද බලා පවසන ලෙසටය.

ඒ අනුව එම පුද්ගලයා මෙම යුවළ පදිංචිව සිටි නිවස‌ට ගොස් පරික්ෂා කිරීමේ දී නිවසේ ජනේලයක් විවෘත කර ඇති බවට දැකිමෙන් පසු නිවසියන්ට කතාකර ඇත.

නමුත් ඔවුන්ගෙන් පිළිතුරක් නොමැති බැවින් අසල්වැසියන්ට ද ඒ බව පවසා නිවස පරික්ෂා කර තිබේ.

එහිදී කැපුම් තුවාල සහිතව අතපය ගැටගසා නාන කාමරය අසල පියා වැටී සිට ඇති අතර මව ඇඳක් අසල වැටි සිටින බව දැක තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය දැනුම්වත් කර ඇති අතර පසුව නැවත පරික්ෂා කිරීමේ දී පියා මියගොස් නොමැති බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුව ඇහැළියගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

ඇහැළියගොඩ පොලීසිය වැඩදුර පරීක්ෂණ පවත්වයි.