රෝගාතුර වී සිටින ධීවරයින් දෙදෙනාව බේරා ගැනීමට සිංගප්පුරු නැවක් සමත්වෙයි 

රෝගාතුර වී සිටින ධීවරයින් දෙදෙනාව බේරා ගැනීමට සිංගප්පුරු නැවක් සමත්වෙයි 

June 30, 2024   08:50 am

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක් මඟින් අද (30) උදෑසන මුදවා ගෙන තිබේ.

එම බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඊයේ (29) සවස පිටත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ළඟා වෙමින් සිටියි.

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු රැගත් “ඩෙවොන් 5” නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි  ධීවරයින් පිරිස, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කර එය විෂ වී, අසාධ්‍ය තත්වයට පත්ව තිබුණි.

ඉන් ධීවරයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365 ක් පමණ (කිලෝ මීටර් 675 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට පත් ව ඇති එම ධීවරයින් පිරිස වෙත කඩිනමින් වෛද්‍ය ආධාර ලබාදී ගොඩබිමට රැගෙන ඒමට සහාය වන ලෙස, ධීවර  හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ  පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ දහවල් දැනුම් දීමක් සිදු කෙරිණි.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහාය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ‘MV KOTA CAMIL’ නමැති වෙළෙඳ නෞකාවට උපදෙස් ලබාදීමට කටයුතු කළ අතර, එම මුහුදු ප්‍රදේශයේ  ධීවර කටයුතු සිදුකල “ඩෙවොන් 3” නමැති බහුදින ධීවර යාත්‍රාව වෙතද සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි.

අද උදෑසන සිංගප්පුරු නෞකාව විසින් මුදවා ගත් ධීවරයින් දෙදෙනා වෛද්‍ය ආධාර ලබාදෙමින් මේ වන විට ගොඩබිම දෙසට රැගෙන එමින් සිටින අතර, විජයබාහු නෞකාව මඟින් ඔවුන් දෙදෙනාව භාර ගැනීමට නියමිතව ඇත.