ඩෙවොන් 5 සොයා ආ මාරකය

ඩෙවොන් 5 සොයා ආ මාරකය

June 29, 2024   09:47 pm

ශ්‍රී ලංකා නාවික හමුදාවේ "විජයබාහු නෞකාව" තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය "ඩෙවොන් 5" බහුදින ධීවර යාත්‍රාව පිහිටි ස්ථානයට පිටත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

මේ අතර අවශ්‍ය වුවහොත් එම යාත්‍රාවේ සිටින ධීවරයන් රැගෙන ඒම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් ද සූදානම් කර තිබේ.

තංගල්ල ධීවර වරායෙන් පසුගිය 4 වනදා "ඩෙවොන් 5" බහුදින ධීවර යාත්‍රාව ධීවරයන් 6 දෙනෙකුද සමගින් ජාත්‍යන්තර මුහුුදු සීමාවට ධීවර කටයුතු සඳහා ගොස් තිබුණි.

ගොඩබිම සිට මුහුදු සැතපුම් 340ක් පමණ දුරින් එම පිරිස ධීවර කටයුතු සිදුකරමින් සිටින අතරතුරදී පෙරේදා රාත්‍රියේ ගැඹුරු දියඹේ පාවෙමින් තිබූ ලීටර 5ක පමණ බෝතලයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කර ඇති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

එම දියරය පානය කළ පිරිස දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර ඉන් අයෙක් අද උදෑසන අසල වූ තවත් ධීවර යාත්‍රාවකට රේඩියෝ පණිවුඩයක් ලබාදී තත්ත්වය පිළිබඳව පවසා තිබේ.

ඒ අනුව එම යාත්‍රාවේ ස්කිපර්වරයා විසින් ඒ පිළිබඳව ගොඩබිම ඇති පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය දැනුවත් කර පසුව රෝගාතුරවූ ධීවරයන් පිරිස සිටින ධීවර යාත්‍රාව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූවද එය ව්‍යාර්ථවීම නිසා අසල වූ ධීවර යාත්‍රාවක් එම ස්ථානයට යොමුකරනු ලැබීය. 

එම යාත්‍රාවේ සිටි ධීවරයන් සිව්දෙනෙකු අදාළ යාත්‍රාවට ගොඩවී බලනවිටත් එහි ස්කිපර්වරයා මියගොස් සිට ඇති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

අනෙක් පිරිස අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඔවුන් ගොඩබිම වූ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය දැනුවත් කර තිබේ.

ඒ අනුව එම යාත්‍රාව රැගෙන කඩිනමින් ගොඩබිමට එන ලෙසට එම පිරිසට උපදෙස්දෙනු ලැබීය.

ඒ අතරතුරදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් ධීවරයන් දෙදෙනෙකු මියයාමත් සමග නාවික හමුදා මූලස්ථානය මගින් එහි වෛද්‍යවරු හරහා අදාළ පිරිසට ප්‍රථමාධාර ලබාදීම සඳහා රේඩියෝ පණිවුඩ මාර්ගයෙන් උපදෙස් ලබාදී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.