පාකිස්තානයේ ගංවතුර මුදාගැනීම් මැද බෝට්ටුවක් පෙරළෙයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ ගංවතුර මුදාගැනීම් මැද බෝට්ටුවක් පෙරළෙයි

September 13, 2025   08:07 am

පාකිස්තානයේ ගංවතුර සහන කටයුතු අතරතුර ගලවා ගැනීමේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නැගෙනහිර පන්ජාබ් පළාතේ ඓතිහාසික මුල්තාන් නගරයට ආසන්න ගම්මානයකින් මෙම සිදුවීම වාර්තාවී තිබේ.

එරට ආපදා කළමනාකරණ අධිකාරිය පෙන්වා දෙන්නේ බෝට්ටුව පෙරළෙන ගම්මානවලින් මුදාගත් පුද්ගලයින් 24 දෙනෙකු පමණ සිට ඇති බවය.

සහන සේවකයින් විසින් පසුව ඉන් පුද්ගලයින් 15 ​​දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන තිබේ.

ගලවා ගැනීමේ නිලධාරීන් පවසන්නේ ගම්වැසියන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඔවුන්ගේ ගවයින්, එළුවන් සහ වෙනත් සතුන් නොමැතිව තම නිවෙස් අතහැර යාම ප්‍රතික්ෂේප කරන බවය.

මුදා ගැනීමේ කටයුතු සඳහා ජනතාව සහයෝගයෙන් කටයුතු නොකරන බැවින් එම කටයුතු සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බව ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.