ඝාතන හතරක් සිදු කළ හිටපු හමුදා සෙබළෙකු කොටුවෙයි

ඝාතන හතරක් සිදු කළ හිටපු හමුදා සෙබළෙකු කොටුවෙයි

September 13, 2025   07:14 pm

බණ්ඩාරගමදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ බොරැල්ලේදී තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන හතරකට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු යුද හමුදා සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු පසුගිය අගෝස්තු මාසයේදී පමණක් පුද්ගලයන් සිව්දෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු මස 07 වනදා වනතා තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අම්පාර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයට තොරතුරක් ලැබී තිබුණි.
 
ඒ අනුව අදාළ පුද්ගලයාව ඊයේ (12) එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔහු පසුගිය අගෝස්තු මස 21 වනදා බණ්ඩාරගම, තුන්බෝධිය පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කෝදාගොඩ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු ලෙස කටයතු කර ඇති බවය.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේම 27 වනදා පානදුර දකුණ අළුබෝගහවත්ත ප්‍රදේශයේදී කුඩු නිලංග නැමැත්තාගේ මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධියේදි වෙඩික්කරු ලෙස අදාළ පුද්ගලයා කටයුතු කර ඇති බවට සැක කරන බවද පොලිසිය පැවසුවේය.

අදාළ වෙඩිතැබීම් තුනක ටී-56 වර්ගයේ ගිනිඅවි යොදාගෙන සිදුකර තිබුණි.

ඒ අනුව ඔහු පසුගිය අගෝස්තු මාසයේදී පමණක් අවස්ථා තුනකදී සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.

සැකකරු 2015 වසරේදී යුධ හමුදා සේවයෙන් පලාවිත් කුඩු සළිඳු, දෙහිබාලේ අයියා, දෙහිබාලේ මල්ලි සහා වැලිගම සහන් යන අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වන අයෙක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන්ගේ කුලී ඝාතනයෙකු ලෙස අදාළ පුද්ගලයා ක්‍රියාකර ඇති බවට සැකකරන බවත් පොලීසිය පැවසීය.

ඔහුව වැඩිදුර විමර්ශන සඳහා දමන පොලිසිය වෙත භාරදී තිබේ.