
පාසල් වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින්, සියලුම පාසල් හෙට (30) දිනයේදී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් මධ්‍යම පළාතේ ප්‍රගතිය විමසා බැලීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම සාධාරණ දැයි තම හෘද සාක්ෂියට අවංකව සිතා බලන ලෙස වර්ජනයට සම්බන්ධ ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ද කාලසටහනේ වෙනසක් නොමැති බවට තහවුරු කළ බව ඇය එහිදී අවධාරණය කළාය.
ඒ හේතුවෙන් සුපුරුදු පරිදි දරුවන් පාසල් වෙත එවන ලෙසට තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් දරුවන් වෙනුවෙන් කැපවන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් හෙට (30) සේවයට වාර්තා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හරිනි අමරසූරිය කියාසිටියාය.
"2024 වසරේ රජය භාරගත් දා සිට අයාලේ ගොස් තිබූ පාසල් කාලසටහන විධිමත් කරලා, නියමිත දිනවලට විභාග පැවැත්වීමට සහ කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අපට හැකි වුණා. වසර ගණනාවකට පසු දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, විධිමත් විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ හා උසස්වීම් ලබා දීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා, 2027 වසරේ ජනවාරි මාසයේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා හඳුන්වා දීමටත් කටයුතු කරමින් තිබෙනවා. ඒ හරහා ශිෂ්‍ය කේන්ද්‍රීය හා තාක්ෂණය මුසු වූ ඉගැන්වීම් ක්‍රමවේදයක් වෙත අධ්‍යාපනය යොමු කරමින් තිබෙනවා.
ඒ වගේම රාජ්‍ය සේවයේ සෙසු ක්ෂේත්රවලට මෙන්ම ගුරුවරුන්ට ද අදියර තුනකින් වැටුප් වැඩි කළා, 2027 ජනවාරි අග වන විට තවත් වැටුප් වැඩිවීමක් ලබා දීමට නියමිතයි. වැටුප් විෂමතා සහ දීමනා සම්බන්ධ නොවිසඳුණු ගැටලු විසඳීමට රජය කැපවී සිටිනවා."



















































