
අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් පස් හැවිරිදි පිරිමි දරුවෙකු වාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව එප්පාවල පොලීසිය පවසයි.
අද (29) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම, ගල්කන්ද පුරාණ විහාරස්ථානය අසල පදිංචිව සිටි, එළැඹෙන වසරේ 1 ශ්‍රේණියට ඇතුළත්වීමට නියමිතව ෂෙනාල් රදීශ් අධිකාරී නැමැති පෙරපාසල් වියේ පසුවූ දරුවෙකි.
දරුවාගේ මව විදේශ රැකියාවක නිරතව සිටින අතර පියා කුලී වැඩෙහි යෙදෙන්නෙක් වන අතර මව විදේශගතව සිටීම නිසා දරුවා හැදී වැඩී ඇත්තේ සිය ආච්චි සහ සීයා භාරයේ ය.
දරුවා සිය ආච්චි, සීයා සහ 9 හැවිරිදි බාප්පා සමඟ ආච්චිට අයත් කුඹුරේ තක්කාලි වගාව වෙත ගොස් ඇත.
එහිදී තක්කාලි වගාවට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ස්ථානයක සීයා වතුර මෝටරයක් සවි කරමින් සිටින අතරතුර, අසල වූ අනාරක්ෂිත වගා ළිඳ ළඟ තිබූ අඹ ගසකින් වැටී තිබුණු අඹ ගෙඩියක් අහුලා ගැනීමට මෙම දරුවා ගොස් තිබේ.
එම අඹ ගෙඩිය නරක් වී ඇති බැවින් එය නොගන්නා ලෙස සීයා දරුවාට පවසා මෝටරය ක්‍රියාත්මක කර ඇත.
අනතුරුව දරුවා ආපසු තක්කාලි කොටුව දෙසට යන්නට ඇතැයි සිතූ සීයා, දරුවා එහි නොමැති බව දැනගැනීමත් සමඟ ඇති වූ සැකය මත පරීක්ෂා කිරීමේදී අඩි 10ක් පමණ ගැඹුරු අනාරක්ෂිත වගා ළිඳේ ගිලී සිටි දරුවා සොයාගෙන ඇත.
වහාම දරුවා මුදාගෙන එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



















































