
අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ 19 හැවිරිදි දිනුක සඳරුවන් පුතුගේ අවසන් කටයුතු අද (29) පවුලේ සහ ආදරණීයන්ගේ සෝසුසුම් මැද සිදුකෙරුණි.
වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 19 හැවිරිදි දිනුක මුද්දරගමදී ඉකුත් 23වැනිදා අනතුරකට මුහුණ පා තිබුණේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදීය.
එම යතුරුපැදිය තවත් යතුරු පැදියක ගැටී දිනුකගේ හිස තාප්පයක වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා තිබුණි.
කඩිනමින් දිවුලපිටිය දිස්ත්‍රික් මහ රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයටත් ඇතුළත් කෙරුණ ද ඔහුගේ මොළය ඒ වන විටත් මියගොස් තිබූ බව වාර්තා වුණි.
ඒ අනුව තවදුරටත් ජීවිතය රඳවාගැනීමට දිනුකට නොහැකි බව වෛද්‍යවරු ඔහුගේ මව්පියන්ට දැනුම් දී තිබුණි.
ඒ මොළය මියගිය දිනුකගේ සෙසු අවයව තවත් ජීවිතයකට පරිත්‍යාග කරමින් සිය පුතු තමන්ගෙන් වෙන්ව යනමුත් ඔහු නමින් තවත් ජීවිත කිහිපයක්ම ජීවත් කරවිය හැකි පින්කමට, දිනුකගේ මව්පියන් එකඟ වී තිබුණේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයත් සංවේදි කරමිනි.
කඩිනමින් ක්‍රියාත්මක වූ වෛද්‍යවරු දිනුකගේ හෘදය වස්තුව , අක්මාව සහ වකුගඩු යුගල කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් ගෙන යාමට කටයුතු කළ අතර, ගුවන් මගින් එම අවයව ගෙනයාමට තීරණය කර තිබුණත් අයහපත් කාලගුණය මැද එය ව්‍යර්ථ වුණි.
නමුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලය ගිලන් රථයක් මගින් කඩිනමින් දිනුකගේ අවයව කොළඹ ජාතික රෝහල කරා රැගෙන ආවේය.
අවසානයේ දිනුකගේ රන් හදවත නතරවුණේ, නිරෝගී හදවතක් සොයමින් ජීවිතය යදිමින් සිටි පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි තවත් දරුවෙකු ළඟයි. දිනුකගේ හදවත ඒ දරුවාට සාර්ථකව බද්ධ කර තිබේ.



















































