
මඩකලපුව මූලස්ථාන පොලිස් බලප්රදේශයට අයත් කරුවප්පංකේණි ප්රදේශයේ නිවසක අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටි තරුණයන් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් අද(29) පස්වරුවේ එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අදාළ නිවසේ හිමිකරු සහ එහි සේවය කරමින් සිටි තරුණයෙකි.
නිවසේ පළමු මහලේ ඉහළ වහල කොටසේ සවලක් ආධාරයෙන් පස් ඉවත් කරමින් සිටියදී, වහලයට ඉහළින් ඇදී ගොස් තිබූ අධිවෝල්ටීයතා විදුලි රැහැනක අදාළ සවල ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එහිදී එක් අයෙකුට විදුලිසැර වැදෙනවාත් සමඟම අසල සිටි අනෙක් පුද්ගලයා ඔහුව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාම විදුලිසැර වැදීමට ලක්ව තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මඩකලපුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



















































