
රජයේ විධායක නිලධාරීන් විසින් මෙම මස 20වන දින ක්‍රියාත්මක කරන ලද එක්දින සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට මෙන්ම, වැටුප් විෂමතා මුල් කරගනිමින් විවිධ වෘත්තීය කණ්ඩායම් විසින් හෙට (30) ප්‍රකාශයට පත්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා ද සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වර්තමාන ආර්ථික හා සංවර්ධන අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින්, වැටුප් හා දීමනා සංශෝධනය සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයකින් පසුව සැකසූ සාධනීය යෝජනාවලියක් මේ වන විටත් වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව එම සංගමය සඳහන් කරයි.
මුළු රාජ්‍ය සේවයම කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි පරිදි එකී කොමිසම මගින් වැටුප් සංශෝධන සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද සංගමය පවසයි.
එවැනි පියවරක් ගෙන ඇති පසුබිමක, මහජන සේවාවන් අඩපණ වන අයුරින් කටයුතු කිරීමට හෝ රටේ ආර්ථිකයට හානි වන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහය දැක්වීමට රාජ්‍ය පාලනයේ ප්රමුඛ සේවාව ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු නොකරන බව අවධාරණය කෙරේ.
කෙසේ වෙතත්, රජය විසින් වැටුප් කොමිෂන් සභාව පත්කර තිබියදී, එහි නිර්දේශ නොමැතිව විවිධ පාර්ශ්වයන්ට අවිධිමත් ලෙස සහන ලබා දීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම බලවත් නොසතුට පළ කරන බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් නිවේදනය කරයි.



















































