
මෙරට මානුෂීය අරමුණු වෙනුවෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා විශාලතම දායකත්වය ලබා දී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය වන අතර, පසුගිය වසර 24ක කාලය පුරා ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 130කට අධික මුදලක් ලබා දී තිබේ.
එම සහාය තුළින් මෙරට බිම්බෝම්බ අවදානම 90%කින් අඩු කිරීමට හැකි වී ඇති බව අනාවරණය වී ඇත.
ඊයේ (28) පැවති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ආධාර සපයන පාර්ශ්වයන්ගේ සමුළුව (Demining Donors Conference) අමතමින් අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී (Deputy Chief of Mission) මයර්ස් මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, භූමි ප්‍රදේශ ආරක්ෂිත වීම තුළින් අවතැන් වූ පවුල්වලට යළි සිය නිවෙස් වෙත පැමිණීමටත්, ගොවීන්ට යළි තම වගාබිම්වල වැඩ කිරීමටත්, දරුවන්ට බියෙන් තොරව නිදහසේ ක්‍රීඩා කිරීමටත් අවස්ථාව උදා වී ඇති බවයි.
ඵලදායී අමෙරිකානු විදේශ ආධාර සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ (Secretary Marco Rubio) දැක්ම මෙම ප්‍රගතිය තුළින් මනාව පිළිබිඹු වන බව ද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීවරයා අවධාරණය කළේය.
පැහැදිලි අරමුණු, මැනිය හැකි ප්‍රතිඵල සහ නිශ්චිත අවසන් ඉලක්කයක් කරා යන වැඩපිළිවෙළක් එම දැක්මට ඇතුළත් වන අතර, ඉතිරිව ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සපුරා ගන්නා විට, එය ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව, අමෙරිකානු ආධාර සහ ශක්තිමත් දේශීය හවුල්කාරිත්වයන් තුළින් අත්කර ගත හැකි ජයග්‍රහණ පිළිබඳව ද වැදගත් සාක්ෂියක් වනු ඇති බව මයර්ස් මහතා පැවසීය.
එමෙන්ම, මෙම වැදගත් මෙහෙවරේ අවසන් අදියරට ශ්‍රී ලංකාව නායකත්වය දෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



















































