
එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
එම අධිකාරිය පැවසුවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවය.
එහිදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සහ ලේබල් තොරතුරු වෙනස් කිරීම, අසත්‍ය වට්ටම් සහ නොමග වන වෙළෙඳ ප්‍රචාරණ, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සඟවා තැබීම සහ කෘතිම හිඟයන් ඇති කිරීම, ඉල්ලා සිටින විට බිල් පත් නිකුත් නොකිරීම සහ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් සඳහා දැඩිව අවධානය යොමු කිරීමට නියමිතය.
එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, නත්තල් කේක්, බේකරි නිෂ්පාදන, රසකැවිලි, තැගී ඇසුරුම්, ඇඳුම් පැළඳුම්, පාවහන්, සෙල්ලම් බඩු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, බෝතල් කළ පානීය ජලය සහ පාසල් උපකරණ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමටද නියමිතය.
පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ප්‍රධාන තොග හා සිල්ලර වෙළෙඳසැල් ගබඩා, සුපිරි වෙළඳසැල්, නිෂ්පාදන හා බෙදාහැරීමේ ස්ථාන, හෝටල් ආපනශාලා, ජංගම වෙළෙඳුන් සහ විශේෂ අලෙවි ප්‍රවර්ධන මෙම වැඩසටහන යටතේ විමර්ශනයට ලක් කරන බවය.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදන හා විධානවලට අනුකූලව වෙළෙඳ කටයුතු පවත්වාගෙන යන ලෙස එම අධිකාරිය සියලු වෙළෙඳුන් වෙත දැනුම්දීමක්ද කර ඇති අතර එම නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පෙන්වා දී තිබේ.
එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීමේදී මිල ගණන් සැසඳීම, කල් ඉකුත්වීමේ දින සහ ලේබල් පරීක්ෂා කිරීම, වට්ටම් සහ අලෙවි කොන්දේසි පිළිබඳව සැලකිලිමත් වීම, වගකීම් සහතිකය පරීක්ෂා කිරීම සහ බිල්පතක් ඉල්ලා එය සුරැකිව ළඟ තබා ගැනීමට කටයුතු කරන ලෙසටද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.
තවද අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් හෝ නීති උල්ලංඝනයන් පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුවත් කරන ලෙසද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.



















































