
මොනරාගල - වැදිකුඹුර මාර්ගයේ අලියාවත්ත, 4 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ දී අද (29) දහවල් මාර්ගය ආසන්නයේ තිබූ ගසක් මාර්ගය හරහා කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
ගස කඩා වැටීමත් සමඟ ඒ අසලින් ඇදී ගිය අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට සහ දුරකථන රැහැන් පද්ධතියකට දැඩි ලෙස හානි සිදු වී ඇති බව වාර්තා වේ.
සිද්ධියත් සමඟ මාර්ගයේ බස්රථ ඇතුළු විශාල වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, විදුලි හා දුරකතන රැහැන් මාර්ගයට කඩා වැටී පැටලී පැවතීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.
කෙසේ වෙතත්, මේ වන විට ත්‍රීරෝද රථ, යතුරුපැදි සහ කුඩා ප්‍රමාණයේ වාහන සඳහා පමණක් ධාවනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
ප්‍රදේශයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කවුඩාව සහ අලියාවත්ත ප්‍රදේශවාසීන් එක්ව, විදුලිබල මණ්ඩල නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව මාර්ගයට වැටී ඇති ගස සහ රැහැන් ඉවත්කිරීමේ කටයුතු මේ වන විට සක්‍රීයව සිදු කරමින් පවතී.



















































