
මාතර, මිරිස්ස තල්අරඹ වෙරළ තීරයේදී ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමකින් සොයාගත් උර තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 330කට අධික ප්‍රමාණයක් පවතින බවට මේ වන විට අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ (28) පස්වරුවේ මෙම මෙහෙයුම සිදුකර තිබුණි.
එහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 17ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, එය වැඩිදුර පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට අනාවරණය වී තිබුණි.
එම මත්ද්‍රව්‍ය තොගය වෙරළට රැගෙන ආ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි බවට සැකකෙරෙන වෑන් රථ දෙකක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
ඊට අදාළව සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව තිදෙනෙකි.
වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යාත්‍රා 69ක් නාවික හමුදා භාරයට
මේ අතර මෙම වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යාත්‍රා 69ක් සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ එම යාත්‍රා අතර බහුදින ධීවර යාත්‍රා 11ක්, විදේශීය යාත්‍රා 5ක් සහ අනෙකුත් යාත්‍රා 53ක් වන බවය.
අදාළ මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකිකයින් 368 දෙනෙකු සහ විදේශිකයින් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 389 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර තිබේ.
මේ අතර, මෙම වසරේ ගතවූ කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1,686.887ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,051.33ක්, කොකේන් කිලෝග්‍රෑම් 256.20ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 51.091ක් ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
මේ අතර, 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා නාවික හමුදා භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍යවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 116 ඉක්මවන බව ද නාවික හමුදාව පැවසීය.
ඉන් මෙම වසරේදී පමණක් සිදුකළ නාවික හමුදා මෙහෙයුම්වලින් රුපියල් බිලියන 75කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග සිය භාරයට ගෙන ඇති බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.



















































