
හෙට (30) දිනයේ රාජ්‍ය ආයතන රැසක ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන වෘත්තීය සමිති සිය සහාය පළ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
කෙසේ වෙතත්, හෙට දිනයේ වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව සෘජුව එක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් රජය අනුගමනය කළ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේදී, රට තුළ පවතින ජීවන වියදම සහ සේවා ගාස්තු ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සමස්ත රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටි බව ද එහිදී චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ මහතා චෝදනා කළේ රජය විසින් එම ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයටම ලබාදීම වෙනුවට තෝරාගත් කණ්ඩායම් සඳහා පමණක් විවිධ දීමනා ලබාදීමට කටයුතු කර ඇති බවය.
එමගින් රාජ්‍ය සේවය තුළ විශාල බෙදීමක් නිර්මාණය වී ඇති අතර, ඇතැම් රාජ්‍ය සේවාවන් නොසලකා හැරීමකට ද ලක්ව ඇති බව චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
රටේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලුම රාජ්‍ය සේවකයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවින් ඔවුන්ගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය සහන හා දීමනා ලබාදීම රජයේ වගකීමක් වන බව ද චින්තක බණ්ඩාර මහතා අවධාරණය කළේය.
එමෙන්ම, වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතා දක්වන පිරිස්වලට කිසිදු වරප්‍රසාදයක් ලබා නොදෙන බවට රජය පාර්ශ්වයෙන් සිදුකරන ප්‍රකාශ ද ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයකට නොගැළපෙන බවද ඔහු මෙහිදි අදහස් දක්වමින් පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් සිදුකිරීමට සමස්ත තැපැල් සේවකයන් එකඟතාව පළ කර ඇති බවය.
ඒ අනුව, රාජ්‍ය සේවක ඉල්ලීම්වලට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ඉඩ ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



















































