
නොවැම්බර් මස 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය පවසයි.
ඒ ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඍජු සාකච්ඡාවක් ඉදිරි සති දෙකක කාලසීමව තුළදී ලබාදීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරදීමට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් එකඟත්වය පළ කර තිබීම හේතුවෙනි.
ඒ අනුව නොවැම්බර් මස 30 වැනිදා සාමාන්‍ය පරිදි සිය රාජකාරි කටයුතුවල නිරත වන මෙන් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියි.
සිය සංගමයේ සාමාජිකයින්ට ලබා ගත යුතු වෘත්තීය දීමනා, ප්‍රවාහන දීමනා ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගනු ලබන ඉහළම මට්ටමේ පාර්ශ්වයන් සමග සාකච්ඡා මාර්ගයෙන් සාධනීය හා ස්ථිරසාර විසඳුමක් ලබා ගත යුතු බව තමන් දැඩිව විශ්වාස කරන බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය අවධාරණය කරයි.
2027 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි අතර නිර්මාණයවී ඇති දීමනා විෂමතාවය නිවැරදි කර ගැනීම සහ අප සංගමයේ සාමාජිකයින්ගේ සාධාරණ වෘත්තීය හා ආර්ථික ඉල්ලීම් දිනා ගැනීම උදෙසා සිය සංගමය විසින් අඛණ්ඩව රජයේ බලධාරින් සමග සාකච්ඡා කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව ද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.

















































