
අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී රහස්‍ය නොවන තොරතුරු හසුරුවන පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළුවී ඇති අතර, අතිශය සංවේදී තොරතුරුවලට එම ප්‍රහාරයෙන් බලපෑමක් සිදුව නොමැති බව වාර්තා වේ.
මීට පෙර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ද වාර්තා කර තිබුණේ CIA සහ ජාතික බුද්ධි අධ්යක්ෂ කාර්යාලය (ODNI) භාවිත කරන පරිගණක ජාලයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.
එම පද්ධතිය ප්‍රසිද්ධියේ ලබාගත හැකි රහස්‍ය නොවන තොරතුරු විශ්ලේෂණය කරමින් බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා භාවිත කර තිබේ.
කෙසේ වෙතත්, ප්‍රහාරකයන් විසින් ප්‍රවේශ වී ඇති තොරතුරු මොනවාද යන්න හෝ එම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ජාතික බුද්ධි අධ්යක්ෂ කාර්යාලය සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍ය මෙහෙයුම් හැකියාවන්ට හෝ රහස්‍ය පද්ධතිවලට කිසිදු බාධාවක් සිදුව නොමැති බවය.
කෙසේ වෙතත්, CIA ආයතනය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.
මේ මාසය තුළ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට ද සයිබර් ප්‍රහාර එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර, ගුවන් සේවා, බැංකු සහ පුළුල් වශයෙන් භාවිත කරන මෘදුකාංග පද්ධතිවල තාක්ෂණික බිඳවැටීම් කිහිපයක් වාර්තා වීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික බුද්ධි අධ්යක්ෂ ජේ ක්ලේටන් වැඩබලන ජාතික සයිබර් අධ්යක්ෂවරයා ලෙස පත්කළේය.










































