
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ ජාතික විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
ලාල් විජේනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, වාමාංශික දේශපාලනඥයකු, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙන්ම මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ජීවිතය කැප කළ විද්වතකු ලෙස ඔහු මෙරට සමාජ හා දේශපාලන ඉතිහාසය තුළ ඉටු කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි බවයි.
වසර 85ක ජීවිත කාලය පුරා තමන් විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් නොසැලී පෙනී සිටි ලාල් විජේනායක මහතා, බලය හෝ තනතුරු ඉදිරියේ නොසැලී තම මතවාද වෙනුවෙන් අවංකව පෙනී සිටි බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
2016 වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් පත් කළ මහජන අදහස් විමසීමේ කමිටුවේදී ලාල් විජේනායක මහතා පළමුව හමුවූ බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරිය, එතැන් සිට පොදු දේශපාලන මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ බව සඳහන් කර ඇත.
දේශපාලනය යනු බලය හෝ තනතුරු අත්පත් කර ගැනීමක් නොව, ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරගලයක් බව ලාල් විජේනායක මහතා සිය ජීවිතයෙන් පෙන්වා දුන් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ අත්දැකීම්, දැනුම සහ දේශපාලන පරිණතභාවය අනාගත පරම්පරාවටද ආදර්ශයක් වන බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරිය, ඔහුගේ මානවවාදී දේශපාලන දැක්ම සහ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම ඉදිරියට ගෙන යාම ඔහුට දැක්විය හැකි සැබෑ උපහාරය බව අවධාරණය කරයි.
දේශපාලන මතවාද සම්බන්ධයෙන් එකඟ වූ සහ එකඟ නොවූ අවස්ථා පැවතියද, ඒ කිසිවක් ලාල් විජේනායක මහතා පිළිබඳ පැවති මිත්‍රත්වයට, සහෝදරත්වයට සහ ගෞරවයට බාධාවක් නොවූ බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

















































