
කෘත්රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් ආර්ථිකය ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ශ්රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර මෙම හමුව ඊයේ (14) ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ, කෘත්රිම බුද්ධි තාක්ෂණය ආශ්රිත ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ජාතික ස්වෛරී AI පරිගණක මධ්යස්ථානයක් (National Sovereign AI Computing Centre) පිහිටුවීම සඳහා චීන රජයේ සහාය ලබාගැනීම පිළිබඳව ප්රධාන වශයෙන් සාකච්ඡා කර ඇත.
එමෙන්ම, දෙරට අතර AI තාක්ෂණය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම සහ ඩිජිටල් ආර්ථික ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.
සාකච්ඡාවේදී අදහස් දැක්වූ චීන තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්රී ලංකාව තුළ කෘත්රිම බුද්ධි තාක්ෂණය භාවිතය ප්රවර්ධනය කිරීම සහ දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම සිය රාජ්යතාන්ත්රික කාලසීමාව තුළ ප්රමුඛ අරමුණක් බව සඳහන් කළේය. එමෙන්ම, SLT-Mobitel ජාතික AI සමුළුව සඳහා නියෝජ්ය අමාත්යවරයා දැක්වූ දායකත්වය ද ඔහු අගය කළේය.
සියලු ක්ෂේත්ර සඳහා සේවා සැපයිය හැකි AI දත්ත විශිෂ්ටතා මධ්යස්ථානයක් පිහිටුවීම, කෘත්රිම බුද්ධිය සම්බන්ධ මානව සම්පත් හා තාක්ෂණික ධාරිතාව වර්ධනය කිරීම, එම ක්ෂේත්රයේ පාලන ක්රමවේද ශක්තිමත් කිරීම සහ නව ආයෝජන අවස්ථා ඇති කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා පැවසීය.
චීනය රබර් සහ වී වගාව වැනි සාම්ප්රදායික කර්මාන්ත සඳහා ද කෘත්රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ප්රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දුන් තානාපතිවරයා, ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ දිගුකාලීන වර්ධනයට සහාය වීම සඳහා අදහස් හුවමාරු කරගැනීමටත් නව සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමටත් 'ලෝක AI සහයෝගීතා සංවිධානය' (World AI Cooperation Organization) සමඟ සම්බන්ධ වන ලෙස ද චීන තානාපතිවරයා යෝජනා කර තිබේ. දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම්වල ප්රගතිය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.
මේ අතර, ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අග්රාමාත්යවරියගේ පසුගිය වසර දෙක තුළ සිදුකළ චීන සංචාරවල ප්රතිඵල පසු විපරම් කිරීම සහ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සකස් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.
එම අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත මුදල් අමාත්යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ GovTech ආයතනය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ උපදෙස් අනුව සකස් කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා සඳහන් කළේය.
කෘත්රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ තාක්ෂණික දක්ෂතා වර්ධනය කිරීම පිළිබඳව ද චීන පාර්ශ්වයේ අවධානය යොමු වී ඇත. යෝජිත AI පරිගණක මධ්යස්ථානය සම්බන්ධයෙන් අවශ්ය තාක්ෂණික දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට ද චීන තානාපතිවරයා කැමැත්ත පළ කළේය.
2026 ලෝක AI සමුළුවේදී (World AI Conference 2026) චීන ජනාධිපතිවරයා අවධාරණය කළ විවෘත මූලාශ්ර AI වේදිකා (Open-source AI platforms) පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයා මෙහිදී කරුණු දක්වා තිබේ.
ශ්රී ලංකාවට ස්වෛරී AI තාක්ෂණය පූර්ණ වශයෙන් භාවිත කිරීමට අවශ්ය භෞතික යටිතල පහසුකම් තවමත් ප්රමාණවත් නොවන බව පෙන්වා දුන් ඔහු, පුරවැසියන්ගේ දත්ත ආරක්ෂාව තහවුරු කරමින් කුඩා පරිමාණයේ AI දත්ත මධ්යස්ථාන හරහා යම් ප්රගතියක් අත්කරගෙන ඇති බව සඳහන් කළේය.
ඒ අනුව, ජාතික මට්ටමේ AI දත්ත මධ්යස්ථානයක් පිහිටුවීම සඳහා චීනයේ සහාය ඉල්ලා ඇති අතර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව සහ අනෙකුත් රාජ්ය ආයතන තුළ AI තාක්ෂණය භාවිත කිරීමේ වත්මන් ප්රගතිය පිළිබඳව ද කරුණු පැහැදිලි කර තිබේ.
ශ්රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන රාජ්යතාන්ත්රික සබඳතාවල තාක්ෂණික මානය හරහා ශ්රී ලංකාවට ප්රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකි වී ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැං යැන්ඩි (Tang Yandi) මහතා, තෙවන ලේකම් ලූ වෙන්ජිං (Lu Wenjing) මෙනෙවිය ඇතුළු චීන නියෝජිත පිරිසක් සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ අධ්යක්ෂ ජනරාල් (ක්රමසම්පාදන) ෆායිස් සලීම් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.



















































