
ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි බේරාගත් ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් එල්. එච්. වී. ජයනාත්ගේ නිර්භීත ක්රියාව අගයමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න විසින් ඔහුව ඇගයීමට ලක්කර තිබේ.
ශ්රී ලංකා ඉංජිනේරු බළකායේ 14 වන රෙජිමේන්තුවට අයත් ලාන්ස් කෝප්රල් ජයනාත්, නිවාඩු ලබා සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇත.
සැප්තැම්බර් 28 වැනිදා පස්යාල ප්රදේශයේ පැවති අවමංගල්ය උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු දැක ක්ෂණිකව ක්රියාත්මක වී ළිඳට පැන දරුවා බේරාගැනීමට කටයුතු කර ඇත.
එම අවස්ථාවේදී ඔහු දැක්වූ ක්ෂණික ප්රතිචාරය, ධෛර්යය සහ අන්යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම කෙරෙහි දැක්වූ වගකීම් සහගත ආකල්පය යුද හමුදාධිපතිගේ පැසසුමට ලක්විය.



















































