
ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි බේරාගත් යුද්ධ හමුදා සෙබළෙකුගේ නිර්භීත ක්‍රියාව යුද්ධ හමුදාපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 14 වන රෙජිමේන්තුවට අයත් ලාන්ස් කෝප්‍රල් එල්. එච්. වී. ජයනාත් මෙලෙස ඇගයීමට ලක්ව ඇත්තේ, යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින්ය.
සැප්තැම්බර් 28 වැනිදා පස්යාල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි දරුවෙකු දැක ඇති ලාන්ස් කෝප්‍රල් ජයනාත්, ක්ෂණිකව ළිඳට පැන දරුවාගේ දිවි බේරාගෙන තිබේ.
නිවාඩු ලබා සිටියදී ඔහු විසින් සිදුකරන ලද මෙම නිර්භීත ක්‍රියාව සහ අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා දැක්වූ කැපවීම යුද්ධ හමුදාපතිවරයාගේ විශේෂ පැසසුමට ලක්ව ඇත.



















































