
මඩකලපුව ප්‍රදේශයේදී 2008 වසරේදී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන් ඇතුළු දෙදෙනා මෙම මස 27වන දින දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (13) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් අන්නාතුරෙයි තෂ්ෂිණී මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම නියෝගය කර තිබේ..
2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි ප්‍රදේශයේදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතීවු කරෙයියක්කන්තීවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිදුවීම් මෙලෙස විමර්ශනයට ලක්ව ඇත.
මෙම ඝාතන සිදුවීම්වලට අදාළව, 2025 වසරේ අප්‍රේල් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු'පිල්ලෙයාන්' ලෙස හැඳින්වෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන අය 2025 නොවැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් පිල්ලෙයාන්, හමුදා බුද්ධි තොරතුරුකරුවන් දෙදෙනා සහ දැනට ලන්ඩන් නුවර සිටින 'පොලිස් පායිස්' ලෙස හැඳින්වෙන මොහොමඩ් පායිස් යන සිව්දෙනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි 17 වනදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර එතැන් සිට ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
අදාළ නඩුව අද (13) විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් අධිකරණයට ඉදිරිපත් කළ අතර, පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ලන්ඩන් නුවර සිටින මොහොමඩ් පායිස් නැමැති සැකකරුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළාය.



















































