
හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 309 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.
මියගිය අය අතරට සෞදි ජාතිකයින් සිව්දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු, අමෙරිකා, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය සහ ඊජිප්තු ජාතිකයින් ද සිටින බවද සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබේ.
මේ අතර සෞදි අරාබියට මෑත කාලීන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර තිබේ.
එමෙන්ම එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු පුරවැසියෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවටද ඔහු තහවුරු කර ඇත.
හූති කැරලිකරුවන්ගේ මෙම ප්‍රහාර හමුවේ සෞදි අරාබියේ බටහිර තානාපති කාර්යාල තම පුරවැසියන්ට ගුවන් තොටුපළින් ඉවත්ව සිටින ලෙසටද අනතුරු අඟවා තිබේ.
එමෙන්ම ගුවන් සමාගම් කිහිපයක්ද රියාද් ගුවන්තොටුපළට සහ ඉන් පිටතට ගුවන් ගමන් ද අවලංගු කර ඇතැයිද වාර්තා වේ.
ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හූති කැරලිකරුවන් සඳහන් කර ඇත්තේ යෙමනයේ සිවිල් යුද්ධයේදී රජයේ හමුදාවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් සෞදි අරාබිය ඉලක්ක කරන බවය.





















































