
කැස්බෑව - කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්රථ රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 120 යටතේ ධාවනය වන 'හොරණ - කොළඹ' සුඛෝභෝගී බස් රථයක රියදුරෙක්ය.
කහතුඩුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්‍රෝ බස් රථය පසුපසින් පැමිණි අදාළ සුඛෝභෝගී බස් රථය, කැස්බෑව හන්දියේ සිටම ප්‍රධාන ලාම්පු දල්වමින්, නලාව ශබ්ද කරමින් සහ අනාරක්ෂිත ලෙස ඉස්සර කරමින් පැමිණ ඇති බව පොලිසිය පවසයි.
පසුව මිරිස්වත්ත ප්‍රදේශයේදී එකවරම මෙට්‍රෝ බස් රථයට ඉස්සර කළ සුඛෝභෝගී බස් රථයේ පිටුපස කොටස, මෙට්‍රෝ බස් රථයේ ඉදිරිපස දකුණු මුල්ලේ ගැටීමට සැලැස්වීමෙන් මෙම අනතුර සිදුකර තිබේ.
මෙම හිතාමතා සිදුකළ අනතුර හේතුවෙන් මෙට්‍රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් පිහිටි වීදුරුව බිඳී ගොස් අලාභ වී ඇත.
එමඟින් රථයේ දේපළවලට සිදුවූ සමස්ත අලාභය රුපියල් 342,000ක් ලෙස තීරණය කර ඇති අතර, අනතුර සිදුවන ආකාරය අසල පිහිටි CCTV කැමරාවක ද පැහැදිලිව සටහන් වී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාර රියදුරු හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පොදු දේපළ පනත යටතේ අද (10) දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, පිළියන්දල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.





















































