
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම අරමුණු කරගනිමින්, ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකාවේ සමූපකාර අපනයන හා ආනයන සංගමය (COOPFED) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම්ගත වීම සිදුව ඇත.
මෙම අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව, දෙරට අතර වෙළෙඳ සහ වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
එහිදී, ඉන්දීය-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) වැඩිදියුණු කිරීම ඇතුළු ද්වීපාර්ශ්වික වැදගත්කමකින් යුත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඵලදායි අදහස් හුවමාරු කරගෙන ඇත.
මෙමඟින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සහ සහනදායී ක්‍රමවේද යටතේ ලබා ගැනීමට මෙන්ම, දෙරටේ සමූපකාර අංශයේ සහයෝගීතාව නව මංපෙත් වෙත යොමු කිරීමට අපේක්ෂිතය.





















































