
සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පශු වෛද්‍යවරු සිය විරෝධය පළ කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පැවසුවේ සිදුකර ඇති එම ප්‍රකාශය සම්බන්ධව කණගාටු වන බවය.
ජල භීතිකාව තුරන් කිරීම කොටස් දෙකක් ඇති බවත් ඉන් සත්ත්ව රෝග සම්බන්ධයෙන් සතුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව ඉගෙන ගෙන ඇත්තේ පශු වෛද්‍යවරුන් බවත් මිනිසාට ප්‍රතිකාර කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් ඉගෙන ගෙන ඇති බවත්ය.
වෛද්‍යවරුන්ට වෛද්‍ය පීඨය තුළ සත්තවයින්ට ප්‍රතිකාර කිරීම කිරීම පිළිබඳව උගන්වා තිබේ නම් හෝ ඔවුන් පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත්නම් මේ සම්බන්ධව ගැටලුවක් නොමැති බවද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා,
"මේ ජල භීතිකාව තුරන් කිරීම කොටස් දෙකයි. එකක් සත්ත්ව ජල භීතිකාව තුරන් කිරීම සහ මානව ජල භීතිකාව තුරන් කිරීම. අපි විශ්වවිද්‍යාලවල සත්ත්ව රෝග සම්බන්ධයෙන්, සත්තුන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඉගෙන ගෙන ඉන්නේ පශු වෛද්‍යවරු. මානවයාට බෙහෙත් කරන්න, මානව සම්බන්ධයෙන් ඉගෙන ගෙන තියෙන්නේ වෛද්‍යවරු. හැබැයි දැනට මෙතන පොඩි විකෘතියක් තියෙනවා දැනට මේ සුනඛයින් සම්බන්ධ වැඩසටහන් කරන්නත් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම. අපි වෛද්‍යවරු විදිහට අපේ වෘත්තිය ගැන කතා කරනකොට වෘත්තියේ තියෙන අඩුපාඩුකම්, වෘත්තිය වෙනුවෙන් අරගල කරනකොට අනිත් අයගේ වෘත්තිය ගරුත්වය ගැන කතා කරන්නත් අවශ්‍යයි. වෛද්‍යවරුන්ට වෛද්‍ය පීඨයේ උගන්වලා තියෙනවානම් සත්තුන්ට බෙහෙත් කරන විදිහ වෛද්‍යවරුනුත් පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා තියෙනවානම් මේකේ ගැටලුවක් නෑ. දැන් මෙතන විකෘතියක් නේ. කිසිම දවසක පශු වෛද්‍යවරු විදිහට අපි යන්නේ නෑනේ දරුවන්ට බෙහෙත් කරන්න. කොරොනා කාලේ එන්නත් කරන්න අපි ගියෙත් නෑනේ. ඒ අපි අපේ රාජකාරිය මොකක්ද කියලා හරියටම දන්නවා. ඉතිං තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ගැන කතා කරන සංවිධානයක් විදිහට ඇත්තටම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වගේ ප්‍රකාශයක් කිරීම ගැන අපි කණගාටු වෙනවා. ඒ ගොල්ලෝ කියනවා වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ කරන මේ එන්නත්කරණය සඳහා MOH වෛද්‍යවරුන්ටත් ඒ අධීක්ෂණ කටයුතු භාර දෙන්න කියලා ඒක හරිම විහිළු සහගත කතාවක්"






















































