
කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුකරය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
මේ වන විට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය විසින් විත්තිකරුවන්ට භාරදිය යුතු ලේඛන අඩංගු ගොනු විත්තියේ නීතිඥවරුන්ට ලබා දී තිබේ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක, චමින්ද අතුකෝරල සහ වසන්ත පිටිගල යන නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම ලේඛන අධ්‍යයනය කර යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා ඊළඟ දින අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බවයි.
රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගය මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවයි.
එම අවස්ථාවේදී විනිසුරුවරිය සඳහන් කළේ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවත් මෙවන විට මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කඩා වැටී ඇති නිසා ඒ සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කළා.
ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියම කළේය.





















































