
තහනම් පොලිතීන් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද සහ නියමිත නීතිමය අවශ්‍යතාවලට අනුකූල නොවන ආහාර එතුම් (Lunch Sheets)කිලෝ 2,040ක පමණ තොගයක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ විනාශ කිරීමේ අංගනයකදී පසුගියදා විනාශ කර තිබේ.
වෙළෙඳපොළෙන් මුළුමනින්ම ඉවත් කිරීමේ අරමුණින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව සිදුකළ විශේෂ වැටලීම් දෙකකදී මෙම ලන්ච් ෂීට් තොගය සිය බාරයට ගත් බව සඳහන් වේ.
2017 සැප්තැම්බර් 01 දිනැති අංක 2034/34 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, HDPE, LDPE සහ Polypropylene ඇතුළු පොලිතීන් අමුද්‍රව්‍ය ලෙස යොදා නිෂ්පාදනය කරන ආහාර දවටන දේශීය භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හෝ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
2019 නොවැම්බර් 29 දිනැති අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 70 යටතේ ආහාර එතුම් නිෂ්පාදකයින් සහ වෙළෙඳුන් සඳහා විශේෂ ලේබල් කිරීමේ අවශ්‍යතා නියම කර ඇති අතර, එය 2020 ජූනි 01 දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, සෑම පැකට්ටුවකම හෝ බණ්ඩලයකම භාෂා තුනෙන් සකස් කළ ලේබලයක් මඟින් සන්නම් නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ විස්තර, භාවිත කළ ද්‍රව්‍ය, ඒවා ජෛව හායනයට ලක්වන/කොම්පෝස්ට් කළ හැකි බවට වන ප්‍රකාශය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය සහ ප්‍රමාණයන් නිවැරදිව සඳහන් කළ යුතුය.
තහනම් පොලිතීන් අමුද්‍රව්‍ය භාවිතයෙන් Lunch Sheets නිෂ්පාදනය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර සියලුම පරිසර සහ ලේබල් කිරීමේ නීතිමය අවශ්‍යතා සපුරාලන බව තහවුරු කරගන්න.
මිලදී ගැනීමට හෝ අලෙවියට තැබීමට පෙර ඒවායේ මූලාශ්‍රය සහ නියමිත ලේබල් තොරතුරු හොඳින් පරීක්ෂා කරන්න.
නීති විරෝධී නිෂ්පාදන අලෙවියෙන් වැළකී, මිලදී ගැනීම් සඳහා වන බිල්පත් හා ඉන්වොයිසි නිසි පරිදි ළඟ තබාගන්න.
Lunch Sheets මිලදී ගැනීමේදී නිෂ්පාදක තොරතුරු, MRP, නිෂ්පාදිත දිනය සහ මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ඇතුළු ලේබල් තොරතුරු පරීක්ෂා කරන්න. සැක සහිත හෝ තහනම් පොලිතීන් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති බවට සැක කෙරෙන දවටන භාවිතයෙන් වළකින්න.
වෙළෙඳපොළ තුළ සිදුවන මෙවැනි නීති විරෝධී අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටියි.





















































