
බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රථයක් ඉලක්ක කරමින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වුණේ අද (27) පෙරවරුවේදීය.
ත්‍රිරෝද රථය පසුපස මෝටර් රථයේ හඹාආ පිරිසක් විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.
එහිදී වෙඩික්කරු කිසිඳු බියකින් සැකයකින් තොරව පිරිස ඉලක්ක කර පන්න පන්නා වෙඩි තබන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබේ.
වෙඩික්කරු ත්‍රිරෝද රථයට වෙඩි තැබීමෙන් පසුව එහි සිටි එක් කාන්තාවක් ඇදවැටෙන අතර තවත් කාන්තාවක් එම ස්ථානයෙන් පලායයි.
එහිදී, ඇද වැටුණු කතට වෙඩිතබන වෙඩික්කරු ඉන් අනතුරුව පළාගිය කාන්තාවටද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරයි.
පසුව ඔවුන්, පැමිණි මෝටර් රථයෙන්ම පලාගොස් තිබුණි.
සිද්ධියෙන් වෙඩි වැදුණු ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා බද්දේගම රෝහලට ඇතුළත්කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණි.
එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
පොලීසිය පැවසුවේ එලෙස මියගියේ වෙඩික්කරුගෙන් ගැලවීම සඳහා පැනදිවූ මෙම කාන්තාව බවය.
ඇය අම්බලන්ගොඩ රතුකුරුස නිවාස, ගොඩහේන ප්‍රදේශයේ පදිංචි සුසිතා ඉරෝෂණී නමැති 47 හැවිරිදි කාන්තාවකි.
කළු නෝනා යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටි ඇය දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලයේ ප්‍රධාන පෙළේ කාන්තාවක බව අනාවරණවී ඇත.
ඇයට හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 710ක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අතර ඊට අදාළව ඉරිදා දිනවල බද්දේගම දිසා අපරාධ කොට්ඨාසයේ පෙනීසිට එහි අත්සන් තැබීමට නියමකර තිබූ බවද පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව අදත් කුලී ත්‍රිරෝද රථයකින් ගොස් පොලීසියේ පෙනීසිට නැවත පැමිණෙමින් සිටියදී වෙඩිතැබීම සිදුව ඇති අතර ඉන් තුවාල ලබා ඇත්තේ ඇයගේ මව බවද පොලීසිය පවසයි.
ඒ අනුව පොලීසිය සැක පළකරන්නේ ලොකු පැටීගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටය.
මියගිය පිරිමි පුද්ගලයා මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ලලිත් ප්‍රසන්නද සිල්වා නමැති 40 හැවිරිදි කුලී ත්‍රිරෝද රථයේ රියදුරෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකව ඇත.
මේ අතර, මෙම වෙඩිතැබීමත් සමග වසරේ මේ දක්වාකාලය තුළ වෙඩිතැබීම් 39ක් වාර්තාවී ඇති අතර ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.





















































