
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) අද (14) සිට තාවකාලිකව සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා වූ මාසයක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇත.
යාල වනෝද්‍යානය තුළ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂීන් 215ක්, උරගයින් 47ක් සහ මතස්‍යය විෂේෂ 21කගේ වාසස්ථානයක් වේ.
මෙහි සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා වන අතර මෙවර සංචාරක සමයට එල් නිනෝ තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ.
අධික උණුසුම් කාලගුණය හේතුවෙන් යාල වනෝද්‍යානයේ ජල මූලාශ රැසක්ද සිඳී ගොස් ඇති අතර මේ හේතුවෙන් වනෝද්‍යානයේ වාසය කරන සත්වයින්ටද දැඩි ලෙස පානීය ජල ගැටලුවක් මතුව ඇත.
එමෙන්ම අධික වියළි කාලගුණය හේතුවෙන් ගහකොළ මෙන්ම තණබිම්ද වියළී ගොස් ඇති අතර මේ හේතුවෙන් යාල වනෝද්‍යානයේ සත්වයින්ට ආහාර හිඟයකටද මුහුණ දීමට සිදුව තිබේ.
පවතින තත්ත්වය හේතුවෙන් සත්වයින්ගේ පිපාසය සංසිඳුවන්න වනජීවි නිලධාරීන් දැඩි පරිශ්‍රමයකද නිරත වන අතර ඒ අනුව මැණික් ගඟේ ස්ථාන 4කින් සූර්ය පැනල මෝටර යොදාගෙන ලබා ගන්නා ජලය භූගත නළ හරහා වනෝද්‍යානයේ පොකුණු වෙත මුදා හැරීමටද මේ වන විට පියවර ගෙන ඇත.
මීට අමතරව දෛනිකව ලීටර් ලක්ෂ 02ක පමණ ජල ධාරිතාවක් බවුසර් මගින් රැගෙන ගොස් වනෝද්‍යානයේ කෘතිම හා ස්වභාවික පොකුණු පිරවීම ද වනජීවි නිලධාරීන් විසින් සිදුකරති.
ඒ අනුව පවතින වියළි කාලගුණය හේතුවෙන් ආහාර සහ ජලය සොයා යාමේදී සත්වයින්ට සිදුවන බාධා අවම කිරීම සඳහා මාසයක කාලයක් යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.



















































