
උතුරු, නැගෙනහිර සහ මලෛයගම් ජනතාව නියෝජනය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (10) පවත්වා තිබේ.
ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීය.
එහිදී වර්තමාන ආර්ථික තත්ත්වයත් සමඟ මෙම ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.
ඔවුන්ගේ වත්මන් ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය සහ පවුල් ආදායම් මට්ටම කෙරෙහි රටේ වර්තමානයේ පවතින උද්ධමනකාරී තත්ත්වයේ බලපෑම, දෛනික ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මෙන්ම මෙම ප්‍රදේශවල පවතින යටිතල පහසුකම්වල ගැටලු පිළිබඳව ද මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.
එමෙන්ම උතුරු නැගෙනහිර සහ මලෛයගම් ජනතාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපන අවශ්‍යතා, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පවතින ප්‍රවේශය, පාසල් අධ්‍යාපනය හා දරුවන්ගේ පෝෂණ මට්ටම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙහිදී මෙම ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙමින් සිටින සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව ප්‍රායෝගික අවධානය යොමු කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් රැසක් හුවමාරු විය.
මෙම ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද අඛණ්ඩ ව අවධානය යොමු කරමින්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන් ම ඉන් පිටතදී ද අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම සාකච්ඡාවට එක්ව සිටි මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කරන ලදී.
එමෙන්ම ජනතාවගේ සැබෑ ගැටලු පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් තොරතුරු රැස් කර ඒවාට විසඳුම් ලබාදීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වඩාත් සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය.



















































