
අනුරාධපුර, මරදන්කඩවල නගරයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ මව සහ ඇගේ සරසවි පුතු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (09) උදෑසන 10.35ට පමණ සිදුවූ අනතුරින් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිත්තලකොන්ඩෑරුම කරඹේ ගමේ පදිංචිව සිටි 47 හැවිරිදි දිල්කි මදුෂානි ගුණසිංහ වන මව සහ ඇගේ පුතු වන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි නිකේෂ් රුවන්ත දිල්ෂන් නැමැති තරුණයායි.
දඹුල්ල ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
මරදන්කඩවල දෙස සිට කැකිරාව දෙසට එකම දිශාවට ධාවනය වූ යතුරුපැදිය සහ ලොරිරථය ගමන් කර ඇති අතර, ලොරිරථය එකවරම දකුණට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ පුතු වහාම මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාම මියගොස් තිබේ.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

















































