
ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් 'කොණ්ඩ රංජි' නමැති සංවිධානාත්මක අපරාධකරු අද (9) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගෙන් මූලික ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අතර, එහිදී පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබේ.
රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩ රංජි' ඩුබායිහීදී ඉකුත් මාර්තු 29 වැනිදා රාත්‍රි 7ට පමණ ඉරානය, ඩුබායි වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර මිතුරන් තිදෙනෙකු වෙත යැවීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ නමුත් එම වීඩියෝ දර්ශන හුවමාරු කර පැය 2ක් ඇතුළත ඩුබායි ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන, ඔහු සතුව තිබූ පවුම් 17ක් බර රන් මාල 2ක්, ඩිරාම් 18,000ක මුදලක් හා ජංගම දුරකථනද ආරක්ෂක භාරයට ගෙන තිබේ.
අනතුරුව ඔහු අද අලුයම සාමාන්‍ය මගී ගුවන් යානයකින් මෙරටට පිටුවහල් කර ඇති අතර, ඒ පිළිබඳ මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දීමක් හෝ සිදුකර නොමැත.
කෙසේවෙතත් තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව 'කොණ්ඩ රංජි' මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
එහිදී සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසාඇත්තේ, මීට පෙර අවස්ථාවකද ඩුබායි සිට ඉතාලිය බලායෑමට උත්සහදැරීමේදී ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති රතු වරෙන්තුව මත තමා අත්අඩංගුවට පත්වූ බවය.
එම අවස්ථාවේදී සතියක් පමණ ආරක්ෂක අංශ භාරයේ සිට, නඩු පවරා සිය ගුවන්ගමන් බලපත්‍රයද එරට ආරක්ෂක අංශ විසින් ලබාගත් බව ඔහු පවසා තිබේ.
එහිදී ඇප හිමිවීමෙන් අනතුරුව ඔහු සිය සගයන් පිරිසක් සමග සාදයක්ද පවත්වා ඇත.
'කොණ්ඩ රංජි' නමැත්තා එරටදී ජල බෝතල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, ඒ හේතුවෙන් ඔහු ගෝල්ඩන් වීසා බලපත්‍රයක්ද ලබාගෙන තිබේ.
තමන් යටතේ සේවකයින් 11දෙනෙකු සේවය කළ බවත් සැකකරු පවසා ඇත.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා කඳානේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ලවී තිබුණද, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
එමෙන්ම තමන් ඩුබායිහිදී පැළඳ සිටි ආභරණ චීනයේ නිෂ්පාදිත ව්‍යාජ රත්‍රන් බවත් පවසා තිබේ.
සැකකරුට එරෙහිව හරක් හා එළුවන් සොරකම, යතුරුපැදි සොරකම, සූදු ක්‍රීඩා කිරීම හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා රැසක් පවතී.
වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී සී. ධර්මරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

















































