
පාරිභෝගිකයින් නොමඟ යවමින් කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ බේකරි නිෂ්පාදන ආයතනයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම නඩුව පවරා ඇත්තේ, අදාළ වෙළෙඳසැලේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී, කල් ඉකුත් වීමේ දිනය 2026/04/16 ලෙස සඳහන්ව තිබූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබියදී අනාවරණය කරගැනීමෙන් පසුවය.
ඉන් අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබූ අතර, ඊයේ (09) දින නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ (අංක 05) හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට සිය වරද පිළිගෙන තිබේ.
එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදුව නියම කර ඇත.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි නිෂ්පාදන දිනය සහ කල් ඉකුත් වීමේ දිනය නිසි ලෙස පරීක්ෂා කර බැලීම පාරිභෝගිකයින්ගේ වගකීමක් වන අතර, මෙවැනි නීතිවිරෝධී ලෙස කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙස බලධාරීන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.



















































