
රත්නපුර, කැටලියන්පල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ රත්නපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාළ පුද්ගලයාව පුටුවක ගැටගසා, අලවංගුවකින් හිසට පහරදී, ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි අනාවරණය වී ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැටලියන්පල්ල, කහංගම, රත්නපුර ලිපිනයේ පදිංචිව සිටි හල්පාවලගේ කුලරත්න නමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (09) අලුයම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනය සිදුවු නිවසේ හිමිකාරියගේ සහෝදරයා වන 47 හැවිරිදි පුද්ගලය අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට පැමිණ භාරවී තිබුණි.
ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී සැකකෙරෙන අතර, රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
ඝාතනයට ලක්වු පුද්ගලයා ඝාතනය සිදුවු නිවස බලා ගැනිමට සිටි අයෙකු බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් කිත්සිරි අරඹේවත්ත මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය.



















































