
තරුණියක් පැහැරගෙන යමින් සිටි මෝටර් රථයකට නාරාහේන්පිට පොලිස් මාර්ග බාධකයේදී පොලිසිය වෙඩි තැබීමක් සිදු කර තිබේ.
අද(29) දහවල් පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ මාර්ග බාධකයේ සිට මෝටර් රථය නැවැත්වීමට අණ කර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමත් සමග පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මෝටර් රථය නතර කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම අවස්ථාවේ මෝටර් රථය පැදවූ පුද්ගලයා පැහැරගෙන යමින් සිටි තරුණිය සහ මෝටර් රථය එම ස්ථානයේ දමා පළා ගොස් ඇත.
පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන අදාළ තරුණිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේදී පැහැරගෙන ඇති බවය.
පළාගිය සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































