
නේපාලයට බලපෑ විනාශකාරී ජලගැලීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7ත් දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සොයාගෙන තිබේ.
නේපාලයේ දකුණුදිග චිට්වාන් කලාපයට මායිම්ව පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවල පාවෙමින් තිබියදී මෙම සිරුරු හමුවී ඇති බව නිලධාරීන් තහවුරු කළේය.
මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, නේපාලයේ ඇතිවූ බලාපොරොත්තු නොවූ ගංවතුර හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බවය.
බ්‍රහස්පතින්දා දිනයේදී මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් හඳුනානොගත් සිරුරු 4ක් හමුවී ඇති අතර, ඊට කිලෝමීටර 70 ක් පමණ පහළින් පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයාගත් බව පොලිසිය පැවසීය.
මෙම සිරුරු කාගේදැයි හඳුනාගැනීමට බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වයි.
මෙම ගංවතුර ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 584 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නේපාලය සහ චීනයේ ටිබෙටය පුරා පුද්ගලයින් 2,400 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇත.
ඉන්දියාවෙන් හමුවූ මෙම සිරුරු හත තවමත් නිල මරණ සංඛ්‍යාවට ඇතුළත් කර නොමැත.

















































