
නේපාලයේ සිදුවූ විනාශකාරී ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් වූ හානියෙන් රට නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බව එරට මුදල් අමාත්‍ය ස්වර්නිම් වග්ල් මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම පිරිවැය නේපාලයේ සමස්ත ආර්ථිකයෙන් දහයෙන් එකකට ආසන්න විශාල ප්‍රමාණයකි.
සිදුවූ පාඩුව හා හානිය පිළිබඳ තක්සේරු කිරීම් තවදුරටත් සිදුවෙමින් පවතින බවත්, 2015 වසරේ ඇතිවූ භූමිකම්පාවෙන් වූ හානියට වඩා මෙවර නැවත ගොඩනැගීමට දැරීමට සිදුවන වියදම අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හිමාල කඳුකරයේ සිදුවූ ග්ලැසියර කඩා වැටීමක් හේතුවෙන් සිදුවූ මෙම මෙම විනාශයෙන් නේපාලයේ මෙන්ම ටිබෙට් කලාපයේ පුද්ගලයින් 600කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 2,000 කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව සිටිති.
නගර පිටින් විනාශයට පත්වෙමින් පාලම්, මාර්ග මෙන්ම ප්‍රධාන ජල විදුලි බලාගාර රැසකට මේ වනවිට දැඩි හානි සිදුව තිබේ.
මෙම ව්‍යසනය නේපාල ආර්ථිකයේ ප්‍රධානම අංශයක් වන සංචාරක ව්‍යාපාරයට සහ ජල විදුලි නිෂ්පාදනයට දැඩි පහරක් එල්ල කර ඇත.
විශේෂයෙන්ම හානියට පත් ජල විදුලි ව්‍යාපෘති නේපාලයේ සමස්ත ජාතික විදුලි ජනන ධාරිතාවෙන් 12%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කිරීම නිසා ඉදිරියේදී දැඩි බලශක්ති සහ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත.
නේපාල ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ව්‍යසනය වන 2015 වසරේ සිදුවූ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් රට යළි ගොඩනැගීමට ඩොලර් බිලියන 9කට අධික මුදලක් වැය කිරීමට සිදුවිය.
පුද්ගලයින් 9,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කරමින්, නිවාස ලක්ෂ 5කට වඩා විනාශ කළ එම භූමිකම්පාවෙන් නේපාල ආර්ථිකයෙන් තුනෙන් එකකටම දැඩි බලපෑම් එල්ල විය.

















































