
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කරන්නේ සේවකයින් විසින් සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.
පසුගිය 25 වනදා 2.00 පැයේ සිට සෙවනගල ඒකකයේ යම් සේවක පිරිසක් සිය රාජකාරි කටයුතුවලින් බැහැරව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට පියවර ගෙන තිබුණු බවත් ඒ හේතුවෙන් මූල්‍යමය අලාභයක් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබා දුන් බවත් එහි සඳහන්.
එමෙන්ම ඊයේ (28) දිනයේ නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් දැනුම් දී තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත්, නැවත කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ද සේවකයින් විසින් සුපුරුදු පරිදි වැඩ වර්ජනය තවදුරටත් පවත්වාගෙන යාම හේතුවෙන් මෙලෙස කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.


















































