
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මේ බව දැනුම් දී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, බලතල වෙන් කිරීමේ මූලධර්මය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම එක් වෘත්තීය කණ්ඩායමකට පමණක් සීමා වූවක් නොවන අතර එය සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් බව එම සංගමය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වෙනස් කිරීම වැනි කරුණු සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බවත්, එම වෙනස්කම් සිදු කරන ක්‍රමවේදය, කාලය සහ වර්තමාන ධූරධාරීන්ට සිදුවන බලපෑම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට එල්ල වන බලපෑම ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බවත් ලිපිය මගින් අවධාරණය කර ඇත.

















































