
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි නදියේ ගැටඹේ තොටුපොළේ දී සිදුකරනු ලැබීය.
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (27) රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කරන ලදී.
අනතුරුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර නැවත එම දේවාල වෙත පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු, කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ මහවැලි ගං තොට වෙත ගමන් කළේය.
එහිදී සම්ප්‍රදායානුකූල දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් පසුව පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල දක්වා විත් ඉන් පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා විය.
ගෙඩිගේ රාජමහා විහාරයේ සිට අද ප.ව. 2:18ට උතුරු දිශාමුඛව පිටත්වන දහවල් පෙරහැර, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර සහ දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී, ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රය තෙවරක් ප්‍රදක්ෂිණා කිරීමට නියමිතය.
අනතුරුව සවස 4:01 ට උතුරු දිශාමුඛව දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු කෙරේ.
පෙරහැර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට නියමිතය.
එහිදී ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමා කළ බව දැනුම් දෙන සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, පෙරහැරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමෙන් පසුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වේ.

















































