
නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු වෙත ලාංඡන පැළඳවීම අද (29) සිදු කෙරිණි.
ඒ, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු හරිස්චන්ද්‍ර ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම උත්සවය ත්‍රිකුණාමලය, සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරුණු බව නාවික හමුදාව නිවේදනය කළේය.
ඒ අනුව, මාස අටක් පුරා පැවැත්වූ අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වූ නාවික හමුදා පුද්ගලයින් තිස් හයදෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමකින් ආරම්භ කළ දසවන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව, සාර්ථකව අවසන් කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු වෙත මෙලෙස මැරීන් බළඇණි ලාංඡන පැළඳවීම, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, විසින් සිදු කෙරිණි.

















































