
වසරේ මුල් මාස හය තුළ පාකිස්තානය පුරා ළමා අපචාර සිද්ධීන් 1,914ක් වාර්තා වී ඇති බව ළමා ආරක්ෂක සංවිධානයක් නිකුත් කළ නවතම වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා වූ සිද්ධීන් අතර මහා මාර්ග අසල අතහැර දමා ගොස් සිටියදී හමු වූ බිළිඳුන් 49 දෙනෙකු ද වන බව එහි දැක්වෙයි.
2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ළමා ලිංගික අපයෝජන සිද්ධි 1,015 ක්, ළමුන් පැහැරගැනීම් සිද්ධි 558ක්, ළමුන් අතුරුදහන් වීම් 101 ක් සහ ළමා විවාහ සිදුවීම් 35ක් වාර්තා වී තිබේ.
ඊට අමතරව, ලිංගික අපයෝජනයට ලක්කිරීමෙන් පසු අසභ්‍ය වීඩියෝ/ඡායාරූප භාවිත කළ අවස්ථා 98ක් ද වාර්තා වී ඇත.
සමස්ත වාර්තාගත සිද්ධීන්ගෙන් සියයට 58 ක්ම වින්දිතයන් බවට පත්ව ඇත්තේ ගැහැණු ළමුන්ය. එමෙන්ම වයස අවුරුදු 11 ත් 15 ත් අතර පසුවන ළමුන් මෙම අපචාරයන්ට ගොදුරු වීමේ වැඩිම අවදානමකට ලක්ව ඇති බව දත්ත මගින් පෙනී යයි.





















































